ගිය ආන්ඩුව ජාතික ආරක්ෂාව වෙනුවට FCID නිර්මාණය කරලා දේශපාලන වවිරුද්ධවාදීන් දඩයම් කලා

ජාතික ආරක්ෂාව වෙනුවට එෆ්.සී.අයි.ඩී (FCID) එක නිර්මාණය කරලා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කළා.

ඉතිහාසයේ ඕනතරම් කොමිෂන් පත් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට තියා ජනාධිපති කාර්යාලයෙන් එළියට ගිහිල්ලත් නැහැ. – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ 07.04.2021 වන අද දින පැවැති රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

ජනාධිපතිතුමා පත් කල පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යනය කොට නැවත මෙවැනි විපතක් ඇති වීම වලක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමයි.

මේ දින වල ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ එහි වැඩ කටයුතු කරලා නිර්දේශ ලබා දුන්නා. ජනාධිපතිතුමා වෙත මෙම වාර්තාව පිළිගැන් වූ දිනයේ සිට විපක්ෂය විසින් මෙය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස කෑ මොරදුන්නා. ඉන්පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දිනයේ පටන් එහි ඇති වැරදි සහ අඩුපාඩු පිළිබදව දහසකුත් එකක් මැසිවිලි නගනවා. නමුත් මේ සිද්ධිය සිදු වුනේ කවුරුන් රට පාලනය කරන කාලයේදී කියන එක මේ අයට අමතක වෙලා වගේ ජනතාවට කරුනු ඉදිරිපත් කරන්නේ.

යහපාලන කාලයේ රට අරාජික වෙලා, වගකීමක් භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවී එක එක්කෙනාට ඇගිල්ල දිගු කරමින් රටේ ජනතාව කුපිත වී සිටින වෙලාවක අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉදිරියට පැමිණ මුස්ලිම් හා කතෝලික ජනතාව සමකාමීකර මහා විනාශයක් වලක්වා ගැනීමට ඉදිරිපත් වීම ගැන මම පලමුවෙන්ම අනේක වාරයක් උන්වහන්සේට ස්තුතියි වන්ත වෙනවා.

අද ඔය කෑගහන විපක්ෂ නායක ඇතුළු නඩය එදා හිටියේ කොහේද? ඔවුන් එම අවස්ථාවේදි මේ තරම් විනාශයක් වෙලා තිබිලත් රජයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් වගේම ජනාධිපති වීමට සිහින දැකපු අය, තවමත් තමන්ට ජනාධිපති වෙන්න පුලුවන් කියලා හීන දකින අය ජනතාව වෙනුවෙන් ඉදිරියට ඇවිත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න මොනවද කලේ.

ටෙලිෆෝන් එක ඉස්සරහට දාගෙන යහපාලන කාලයේදී කරපු පව් වහගන්න ලැස්ති වෙන්න එපා. මේ රටේ ජනතාව හොඳාකාරවම දන්නවා තමුන්නාසේලා ජාතික ආරක්ෂාව එක්ක සෙල්ලම් කරපු විදිහ. යුද්දේ ඉවර උනා කියලා අපි ආරක්ෂක අංශ විශේෂයෙන් බුද්ධි අංශ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යොදවලයි තිබුනේ. ඒවාට කිසිම දේශපාලන අතපෙවීම් කලේ නැහැ. ඔවුන්ගේ වාර්තා කිරිම් අනුව රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ආණ්ඩුවක් විදිහට අපි ක්‍රියාවේ යෙදෙව්වා. මොකද ආණ්ඩුවක පලවෙනි වගකීම තමයි රටේ ජනතාවගේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහහුරු කරන එක. රටේ ජාතියේ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24පුරා ක්‍රියාත්මක විය යුතු බුද්ධි අංශ දිය කරලා දැම්මෙ කවුද? ඒ බුද්ධි අංශ සාමාජිකයෝ හිරගෙවල් වල ගාල් කලේ කවුද? ජාතිත ආරක්ෂාව බිංදුවට බස්සලා තමුන්නාන්සේලා කලේ තමුන්නාන්සේලාව බලයට ගේන්න උදව් කරපු, මේ රට දෙකඩ කිරිමේ අරමුණ අදටත් අතහැරලා නැති කල්ලි කණ්ඩායම් වල උවමනාවන් ඉෂ්ඨ කරන එකයි. පොලීසියේ ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා කියලා එෆ්.සී.අයි.ඩි. එක වගේ ඒවා අටවලා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරනවා ඇරෙන්න රටේ ජාතියේ ආරක්ෂාව ගැන අබමල් රේණුවක කැක්කුමක් තමුන්නාන්සේලාට තිබුණේ නැහැ.. අවුරුදු 4ක් තුල ඒ කියන්නේ 2015 සිට 2019 දක්වා කාලය තුල ආරක්ෂක ලේකම්වරු 5ක් මාරුවෙන් මාරුවට පත් කලා. ඒකේ ප්‍රතිඵලය තමයි පාස්කු ප්‍රහාරය. ඒ ප්‍රහාරයෙන් පස්සේ තමුන්නාන්සේලාගේ හැසිරීම ගැනත් මතක් කරන්න ඕනි. ප්‍රහාරය ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කලා මතකයි නේද? ඒ තේරීම් කාරක සභාව පාස්කු ප්‍රහාරය ගැන සොයනවා වෙනුවට කලේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ නිලධාරින්, රජයේ නිලධාරීන් කාරක සභාව ඉස්සරහට ගෙනල්ලා ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් තොරතුරු වමාර ගන්න එකයි. ඒවා මාධ්‍යටත් විවෘත කලා. අද මේ කෑගහන විපක්ෂ නායකයා ඇතුළු මේ මන්ත්‍රීවරුන් ඒ වෙලාවේ කටක් හොල්ලලා කිව්වද පාස්කු ප්‍රහාරයේ සෑබෑ වගකිව යුත්තන් හොයා ගන්නාවා වෙනුවට තවදුරටත් ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙන විදිහට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හැසිරෙන විදිහ වැරදියි කියලා. නෑ… හැබැයි අපි භය නැතිව කිව්වා. මේ කොම්ෂන් සභා වාර්තාව ගැන කථා කරන්න ඉස්සල්ලා ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අරමුණක් නැති වගකීම් විරහිත ක්‍රියා කලාපය ගැන තමුන්නාන්සේලා ජාතියෙන් සමාව ගත යුතුයි.

මේ රටේ ඉතිහාසයේ ඕනතරම් කොමිෂන් පත්කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට තියා ජනාධිපති කාර්යාලයෙන් එළියට ගිහිල්ලා නැහැ. මේක එහෙම රටක්. මිනිස්සුන්ට මේ කොමිෂන් ගැන කිසි විශ්වාසක් තිබුනේ නැහැ. ජනාධිපතිතුමා මේ කොමිෂන් වාර්තාව ලැබුණ හැටියම ඒක කැබිනට් මණ්ඩලයට දාල ඒ ගැන අධ්‍යනය කරන්න කමිටුවකුත් පත් කරලා. ඊට පස්සේ ඒ වාර්තාව මේ සභාවටත් ඉදිරිපත් කරලා. ජනාධිපති කොමිෂන් සභා පිළිබද විශ්වාසයකුයි මේ ඇති කරලා තියෙන්නේ. තමුන්නාන්සේලාට රුස්සන්නේ නැත්තේ ඒකයි. කොමිෂන් සභා වාර්තාව කෝ.. කෝ.. කිය කියා තමුන්නාන්සේලා කරපු එදාවේල දේශපාලනය ජනාධිපතිතුමා විසින් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විමත් සමගම නැති බංගස්තාන වුණා. ඊට පස්සේ වේල හොයා ගන්න නැතිව තමයි මේකේ අඩුපාඩු ගැන කථා කරන්න අරගෙන තියෙන්නේ. මතක තියා ගන්න මේ කොමිසම වැරදිකාරයෝ අල්ලගන්න හෝ දඩුවම් දෙන්න නඩුවක් අහලා නැහැ. විමර්ෂණයක් කරලා තියෙන්නේ. මේ විමර්ෂන පාදක කරගෙන අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණාම වගකිවයුත්තෝ එළියට එයි. එදාට වගකීම් පැහැර හැරපු මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි. කොමිෂන් වාර්තාවට තඩිබාලා කරපු වැරදිවලට දඩුවම් ලබන්න තියෙන අවස්ථා නැති කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයට වැඩිපුර දින දෙකක් යොදාගැනීමට විපක්ෂය විරුද්ධ වෙයි

Thu Apr 8 , 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීම සදහා තවත් දින දෙකක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවට විරෝධතාව පලකර එය කඩා කප්පල් කිරීම සඳහා සමගි බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අද ක්‍රියා කොට තිබෙනවා. එමෙන්ම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල […]

Breaking News